20- මග්ග වග්ගය

ධම්මපදය – 20 මග්ග වග්ගය
නිවනට පිවිසිය හැකි මග හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබද වදාළ ගාථා දහහතකින් යුක්ත යි.


20.01 මග්ගානට්ඨංගිකෝ සෙට්ඨෝ
සච්චානං චතුරෝ පදා
විරාගෝ සෙට්ඨෝ ධම්මානං
දිපදානං ච චක්ඛුමා.
(ජේතවන – භික්ෂුන් 500ක් අරබයා )

මාර්ගයන් අතුරෙන් අංග අටක් ඇති ආර්ය අෂ්ඨාංගික මාර්ගය උත්තම යි. සත්‍යයන් අතුරෙන් චතුරාර්යය සත්‍ය සතර ප්‍රධාන යි. ධර්මයන් අතුරෙහි විරාගය හෙවත් නිවන ශ්‍රේෂ්ඨ යි. දෙපා ඇත්තන් අතරෙහි පසැස් ඇති බුදුරජ ශ්‍රේෂ්ඨ යි.

20.2 එසොව මග්ගෝ නත්ථ ඤෙඤා
දස්සනස්ස විසුද්ධියා
එතම්හි තුම්හේ පටිපජ්ජථ,
මාරස්සේ තං පමෝහනං.
(ජේතවන – භික්ෂුන් 500ක් අරබයා)

නිවන ලැබීම සඳහා ඇත්තේ මේ මාර්ගය පමණයි. අන් මගක් නැත. තෙපි මේ මාර්ගයෙ හි පිළිපදිව්. මෙය මාරයා මුළා කරන්නකි, මාරයා ට අසු නොවී යා හැකි මගය.

20.3 එතම්හි තුම්හේ පටිපන්නා
දුක්ඛස්සන්තං කරිස්සථ
අක්ඛාතෝ වෙ මයා මග්ගෝ
අඤ්ඤාය සල්ල සත්ථනං.
(ජේතවන – භික්ෂූන් 500ක්අරබයා )

මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි පිළිපන් තෙපි දුක කෙළවර කරන්නාහු ය. රාගාදී මුල් උදුරන සැටි ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන මා විසින් මේ  මාර්ගය දෙසන ලදී.

20.4 තුම්හේහි කිච්චං ආතප්පං
අක්ඛාතාරො තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති
ඣායිනො මාරබන්ධනා,
(ජේතවන – භිඬූන් 500ක් අරබයා )

වීර්යය වැඩීම ඔබ විසින් කළ යුතු ය. බුදුවරු මාර්ග කියා දෙන්නෝ ය. ඒ මාර්ගයෙහි යමින් බුදුන්ගේ උපදෙස් පිළිපදින් නෝ,  මාරයාගේ බැමිවලින් මිදෙත්.

20.5.  සබ්බේ සංඛාරා අනිචචාති
යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුදධියා.
(ජේතවන – භික්ෂුන් 500ක් අරබයා )

ලෝකයෙහි ඇති සියලූ දේ ත් සියලූ සත්වයෝ ත් නිත්‍ය නොවෙති යි යම් කලක විදර්ශනා ප්‍රඥා වෙන් දකී ද, එවිට දුකෙ හි (හෙවත් සසරෙහි) කලකිරේ. මෙය පිරිසුදුවීමේ (නිවන ලබන්න ට) මග ය.

20.6 සබ්බේ සංඛාරා දුක්ඛාති
යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින‍දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා.
(ජේතවන – භික්ෂුන් 500ක් අරබයා)

සියලූ විඥාන සහිත – විඥාන රහිත දේ දුක් සහිත ය යි යම් කලක විදර්ශනා ප්‍රඥාවෙන් දකී ද, එකල සසර දුකෙ හි කලකිරේ. එය නිවන ලැබීම ට මගකි.

20.7 සබ්බේ ධම්මා අනත්තාති
යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින‍දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා.
(ජේතවන – භික්ෂුන් 500ක්  අරබයා )

සියලූ සවිඥානක – අවිඥානක දේ ආත්ම නැත්තාහු ය යි නුවණින් දකී ද, එකල සසර දුකෙ හි කලකිරේ. එය නිවන ලැබීමට මගකි.

20.8 උට්ඨානකාලම්හි අනුට්ඨානො
යුවා බලී ආලසියං උපෙතො
සංසන්න සංකප්පමනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසෝ න වින්දති.
(ජේතවන – පධාන කම්මිකතිස්ස තෙරුන් අරබයා)

උත්සාහයෙන් ක්‍රියා කළ යුතු කාලයෙහි උත්සාහවත් නො වන්නා වූ, ජව සම්පන්න තරුණ වයසින් යුක්ත වූවත් අලසකමින් යුත්, කාම විතර්ක ආදිය නිසා යහපත් කල්පනාවෙන් හිස්වූනාවූ  කුසීතයා ප්‍රඥාවෙන් ලැබිය යුතු ආය්‍යමාර්ගය නොලබයි.

20.9 වාචානුරක්ඛි මනසා සුසංවුතෝ
කායේන ච අකුසලං න කයිරා
එතෙ තයෝ කම්මපථෙ විසොධයේ
ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං.
(වේළුවන – සුකර ප්‍රේතයා අරබයා)

වචනය රකින්නේ හෙවත් වාග් දුශ්චරිතයෙන් තොර වූයේ, සිතින් මනා සංවරයට පත් වූයේද  කයින් ද අකුසල් නො කරන්නේද, මේ කායකර්මාදී කර්මපථ තුන පිරිසිඳු කරන පුද්ගලයා ආය්‍යයන් වහන්සේලා ප්‍රකාශ කළ මාර්ගය ලබන්නේ ය.

20.10 යෝගා වෙ ජායතී භූරි,
අයෝගා භූරිසංඛයෝ
ඒතං දේවධාපථං ඤත්වා
භවාය විභවාය ච
තථත්ථානං නිවෙසෙය්‍ය
යථාභූරි පවඩ්ඪති.
(ජේතවන – පොට්ඨිල තෙරුන් අරබයා)

භාවනා කිරීමෙන් නුවණ උපදී හෙවත් ප්‍රඥා ව වැඩේ. භාවනාවෙහි නො යෙදීමෙන් නුවණ පිරිහේ. අභිවෘද්ධිය හා අනභිවෘද්ධිය පිණිස පවත්නා මේ දෙමංසන්ධිය (කරුණු දෙක) දැනගෙන නුවණ වැඩෙන ආකාරයෙන් තමාගේ සිත පිහිටුවා ගත යුතු යි.

20.11 වනං ඡින්දථ, මා රුක්ඛං
වනතො ජායතී භයං
ඡෙත‍වා වනං ච වනථඤ්ච
නිබ්බනා හෝථ භික්ඛවො.
(ජේතවන – මහලූ භික්ෂු පිරිසක් අරබයා)

වනයේ ගස් නො කපව්. කෙලෙස් වනය කපා දමව්, . භය උපදින්නේ (කෙලෙස්) වනයෙනි. මහණෙනි, මහ ගස් ද ඒවා යට ඇති කුඩා ගස් ද (හෙවත් ලොකු – කුඩා කෙලෙසුන්) කපා දමා තෘෂ්ණා නැත්තෝ වව්.

20.12. යාවං හි වනථො න ඡිජජති
අණුමත්තෝපි නරස්ස නාරිසු
පටිබද්ධමනෝව තාව සො
වචෙඡා ඛීරපකොව මාතරි,
(ජේතවන – මහලූ භික්ෂු පිරිසක් අරබයා)

පුරුෂයා යම් තාක් කල් ස්ත්‍රීන් කෙරෙහි ස්වල්ප ලෙස හෝ ලොල් වේද, ස්වල්ප මාත්‍ර වූත් එම කෙලෙස් බැම්ම නො සිඳේ ද, ඒ තාක් කල්, කිරි බොන වස්සා මව් දෙන පසුපස්සේ යන්නා සේ, හෙතෙම ගැහැනුන් පිළිබඳ සිත් ඇත්තේ ම වේ.

20.13 උචඡින්ද සිනෙහමත්තනො
කුමුදං සාරදිකංව පාණිනා
සනතිමග්ගමෙව බ්‍රෑහය
නිබ්බාණං සුගතේන දේසිතං,
(ජේතවන – සැරියුත් හිමියන් ගේ ගෝලයෙකු අරබයා)

සරත් කාලයෙ හි (හෙවත් වප්-ඉල් දෙමස තුළ) හට ගත් හෙළ මානෙල් මලක් අතින් කඩන්නා සේ තමා තුළ පවත්නා ස්නේහය කඩා දමව. නිවන් මගම වඩව. නිවණ ශාන්තිය යැයි බුදුරදුන් විසින් දෙසන ලදී.

20.14 ඉධ වස්සං වසිස්සාමි,
ඉධ හේමන්තගිමහිසු,
ඉති බාලෝ විචින්නේති
අන්තරායං න බුජ්ඣති,
(ජේතවන – වෙළඳ නායකයෙකු අරබයා)

වර්ෂා මෙහි ගත කරන්නෙමි, ශීත ඍතු – උෂ්ණ ඍතු දෙක මෙ හි ගත කරන්නෙමි යි අඥානයා සිතයි. පැමිණෙන්නට තිබෙන මරණය යන අනතුර ගැන නොසිතයි. (කොයි අවස්ථාවේ දී වුවත් මරණය පැමිණිය හැකි බැව් නො සිතයි.)

20.15 තං පුත්තපසුසම්මත්තං
බ්‍යාසත්තමනසං නරං
සුත්තං ගාමං මහෝඝොව
මච්චු ආදාය ගච්ඡති.
(ජේතවන – කිසා ගෝතමී අරබයා)

තමාගේ  දු දරුවන්ද , තමාට අයත් ගවාදී සතුන් නිසා උඩඟු බවට පත් ඒවා කෙරෙහි විශේෂයෙන් ඇලූණු සිතැති මිනිසා මාරයා ගෙන යයි. කුමක් මෙන් ද? මිනිසුන් නිදා සිටින විට පැමිණි මහ ගංවතුරක් ඒ මිනිසුන් සහිත ගම ගසාගෙන යන්නාක් මෙනි.

20.16 න සන්ති පුත්තා තාණාය,
න පිතා නපි බන්ධවා
අන්තකොනාධිපන්නස්ස
නත‍ථී ඤාතීසු තාණතා.
(ජේතවන – පටාචාරාව අරබයා)

මරණය විසින් මඩින ලද්දහුට දු දරුවන් හෝ මා පියන් හෝ, නෑ දෑයන් පිහිට (පිණිස) නො වෙත්, පියවරුත් නෑයොත් පිහිට නො වෙත්. ඔහුට නෑයන්ගෙන් පිහිටක් නැත.

20.17 එතමත්ථවසං ඤත්වා
පණඩිතෝ සීල සංවුතෝ
නිබ්බාණගමනං මග්ගං
ඛිප්පමෙව විසෝධයේ.
(ජේතවන – පටාචාරාව අරබයා)

ශීල සංවරයෙන් යුතු නුවණැත්තා මේ කාරණය දැනගෙන නිවනට යන මග වහාම ශුද්ධ කරගන්නේ ය.

Devider

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: