10 දණ්ඩ වග්ගය.

ධම්මපදය – 10  දණ්ඩ වග්ගය.
පෘථග්ජන පුද්ගලයා නිරයේ උපත ලබා දඩුවම් ලබන අයුරුත්, භික්ෂුව නිවනින් සැනසෙන අයුරුත් දැක්වෙන ගාථා දාහතකින් යුක්ත යි.


10.01 සඛ්බේ තසන්ති දණ්ඩස්ස
සඛ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත‍්වා
න හනෙය්‍ය, න ඝාතයේ. 
(ජේතවනාරාමය – ජබ්බග්ගිය භික්‍ෂුන් අරබයා)

සියල්ලෝ දඩුවමට තැති ගනිත්. සියලූ දෙන මරණයට භය වෙත්. තමා උපමා කොට සිතා අනුන්ට හිංසා නො කරන්න. අනුන් නො නසන්න

10.02 සඛ්බේ තසන්ති දණ්ඩස්ස
සඛ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත‍්වා
න හනෙය්‍ය, න ඝාතයේ. 
(ජේතවනාරාමය – ජබ්බග්ගිය භික්‍ෂුන් අරබයා)

සියල්ලෝ පෙලීම ට හෝ දඩුවමට තැති ගනිත්, ජීවිතය සියල්ලන් ට ප්‍රිය වේ. තමා දඩුවම ට බිය බව ත් ජීවිතය තමා ට ප්‍රිය බව ත් සලකා අනුන්ට හිංසා නො කරන්න.  අනුන් නො නසන්න. 

10.03 සුඛ කාමානි භූතානි
යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛමේසානෝ,
පෙච්ච සෝ න ලභතේ සුඛං. 
(ජේතවන – කුමරුවන් රැසක් අරබයා)

යමෙක් තමා සැප ලබන බලාපොරොත්තුවෙන් තමා මෙන්ම සැප කැමති (හිංසා පීඩා නො කැමති) අනෙකුත් සත්වයන් ට හිංසා පීඩා කෙරේ ද, හෙතෙම පරලොවදී සැප නො ලබයි.

10.04 සුඛකාමානි භූතානි
යෝ දණ්ඩේන න හිංසති
අත්තනො සුඛමේසානෝ,
පෙච්ච සෝ ලභතේ සුඛං.
(ජේතවන – කුමරුවන් රැසක් අරබයා)

යමෙක් තමා සැප ලබන අදහසින් සැප කැමති අන්‍ය සත්ත්වයන් නොපෙලයිද හිංසා නො කෙරේ ද, හෙතෙම පරලොවදී සැප ලබයි.

10.05 මාවෝච ඵරුසං කංචි,
වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරමහකථා,
පටිදණ්ඩා ඵුසෙය්‍යු තං.
(ජේතවන – කුණ්ඩධාන තෙරුන් අරබයා)

කිසිවෙකුට නපුරු වචන නො කිය යුතු. එසේ කියු විට ඔවුන්  ඔබට ද පරුෂ වචන කියන්නාහු ය. මෙසේ එකටෙක කියා ගැනීම දුකකි. ඔබ අනුන්ට පහර දුනහොත් ඔබට ද පහර වදිනවා ඇත.

10.06 සචේ නෙරේසි අත්තානං
කංසෝ උපහතෝ යථා
ඒස පත්තෝසි නිබ්බාණං
සාරම්භෝ තේ න විජ්ජති. 
(ජේතවන – කුණ්ඩධාන තෙරුන් අරබයා)

බිඳී ගිය ලෝහ තැටියකට ලී කැබැල්ලකින් ගැසූ විට හඩ නො නගීන්නා සේ තමා නිශ්ශබ්ද කර ගත හැකි නම් ඔබ නිවීමට පැමිණියෙකි. එ විට එකටෙක කියාගැන්මක් ඔබ ට ඇති නො වන්නේ ය.

10.07 යථා දණ්ඩේන ගෝපාලෝ
ගාවෝ පාජේති ගෝචරං,
ඒවං ජරා ච මච්චූ ච
ආයුං පාජෙන්ති පාණිනං. 
(පූර්වාරාම – පොහොය කර්මයකදී)

යම් සේ ගොපල්ලා කෙවිටෙන් ගවයන් තන බිමට දක්කයි ද, එ මෙන් ජරාවත් මරණය ත් මිනිසුන්ගේ ආයුෂය ගමන් කරවයි. (මිනිසුන් මාරයා කරා දක්කයි.)

10.08 අථ පාපානි කම්මානි
කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ
අග්ගිදඩ්ඪෝව තප්පති.
(වෙළුවන – අජගර ප්‍රේතයා අරබයා)

පව්කම් කරන්නා වූ අඥානයා (එයින් ලැබෙන කටුක විපාකය) තේරුම් නොගනී. ඒ පවිටු සිතැත්තා ස්වකීය ක්‍රියාවන් නිසා ගින්නෙන් දැවෙන්නෙකු මෙන් තැවේ.

10.09 යො දණ්ඩේන අදණ්ඩේසු
අප්පදුට්ඨේසු දුස්සති
දසන්නමඤ්ඤතරං ඨානං
ඛිපපමේව නිගච්ඡති. 
(වෙළුවන – අජගර ප්‍රේතයා අරබයා)

යමෙක් අනුන් ට හිංසා නො කරන්නා වූ අනුන්ට විපත් නො පමණුවන්නා වූ පුද්ගලයන්ට විපත් පමුණුවයි ද හෙතෙම (මත්තෙහි කියනු ලබන) කරුණු දශයෙන් එකකට වහාම පැමිණෙයි.

10.10 වේදනං ඵරුසං ජානිං,
සරීරස්ස ච භේදනං,
ගරුකං වාපි ආබාධං,
චිත්තක්ඛේපං ච පාපුණේ. 
(වෙළුවන – අජගර ප්‍රේතයා අරබයා)

හෙතෙම දරුණු වේදනාවකට හෝ ධන හානියකට හෝ අත් පා කැඩීම් බිදීම් ආදියකට හෝ බලවත් රෝගයකට හෝ උමතු බවට හෝ පැමිණේ.

10.11 රාජතෝ වා උපස්සග්ගං,
අබ්භක්ඛානං ව දාරුණං,
පරික්ඛයං ව ඤාතීනං,
භෝගානං ව පභඞගුරං. 
(වෙළුවන – අජගර ප්‍රේතයා අරබයා)

හෙතෙම රජුන්ගෙන් පැමිණෙන උපද්‍රවයකට හෝ දරුණු අසත්‍ය චෝදනාවකට හෝ භාජනය වෙයි. නෑයන් ගේ විනාශයකට හෝ සම්පත් වැනසී යාමකට පැමිණෙයි.

10.12 අථ වස්ස අගාරානි
අග්ගි ඩහති පාවකෝ
කායස්ස භෙදා දුප්පඤ්ඤෝ
නිරයං සෝ පපජ්ජති. 
(වෙළුවන – මහමුගලන් තෙරුන් අරබයා)

නැතහොත් ඔහුගේ ගෙවල් ඉබේම ගිනි බත් වෙති මරණින් මතු ඒ අඥානයා නරකයෙහි උපදී.

10.13 න නග්ගචරියා, න ජටා, න පංකා,
නා’නාසකා, ථණ්ඩිලසායිකා වා
රජෝ ච ජල්ලං, උක්කුටිකප්පධානං
සොධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං.
(ජේතවන – බහුභණ්ඩික භිඬවකු අරබයා)

වස්ත්‍ර නොහැඳ නිරුවතින් විසීම වත්, ගෙතුනු හිසකෙස් දැරීමවත්, ඇඟේ මඩ තවරා ගැනීමවත්, නොකා හිඳීමවත්, ආවරණයක් නැති පොළොවේ නිදීමවත්, ඇඟේ කුණුගොඩ ගැසී පතුරු හැලෙනතෙක් නොනා හිඳීමවත් නොනැගටි නොනිදා උක්කුටියෙන් හිඳීමවත් (මාර්ගයෙහි සැක ඇති)  පුද්ගලයා පිරිසිඳු නො කෙරෙත්.

10.14 අලංකතෝ චේපි සමං චරෙය්‍ය
සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහමචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
සො බ්‍රහමණෝ, සෝ සමනෝ, සභිකඛු. 
(ජේතවන – සන්තති මහ ඇමති අරබයා)

සර්වාභරණවලින් සැරසී සිටියත්  (පව් නොකරන) සම සේ හැසිරේ ද, කෙලෙසුන් නැති බැවින් ශාන්ත ද, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත ද, නියත වූ උප්පත්ති ඇත්තේ ද, බ්‍රහ්මචාරී වේද, සියලූ සතුන් ට හිංසා කිරීමෙන් තොර වූවේද, හෙතෙම බ්‍රාහ්මණයෙකි, ශ්‍රමණයෙකි, භික්ෂුවකි.

10.15 හිරිනිසේධෝ පුරිසෝ
කෝචි ලොකසමිං විජ්ජති
යො නින‍්දං අප්පබෝධති
අස්සෝ භද්‍රෝ කසාමිව. 
(ජේතවන – පිලොතික තෙරුන් අරබයා)

යහපත් අජානේය අශ්වයෙක් කස පහර ලැබීමට ලැජ්ජා වන්නාක් මෙන් ලැජ්ජාව නිසා පවින් දුරු වෙන්නා වූ කිසියම් පුද්ගලයෙක් ලෝකයෙහි කලාතුරකින් විද්‍යාමාන වේ. 

10.16 අස්සෝ යථා භද්‍රෝ කසානිවිට්ඨෝ
ආතාපිනෝ සංවේගිනෝ භවාථ
සද්ධාය සීලේන ච විරියේන ච
සමාධිනා ධම්මවිනිච්ඡයේන ච
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා
පහස්සථ දුක්ඛමිදං අනප්පකං.
(ජේතවන – පිලොතික තෙරුන් අරබයා)

කස පහර ලැබූ යහපත් අශ්වයා නැවත කස පහර නො ලැබීම සඳහා උත්සාහවත් වෙන්නා සේ තොපි ද කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත ව සසරෙහි කලකිරීම් ඇත්තෝ වව්.
ශ්‍රද්ධාවෙන් ද ශීලයෙන් ද වීර්යයෙන් ද සමාධි වැඩීමෙන්  ධර්මයෙන් පිරිසිඳු ව දැන ගැන්මෙන් ද ත්‍රිවිද්‍යාවන් හා පසළොස්චරණ ධර්මයෙන් ලැබුවාහු, හැම විට ම එළඹ සිටි සිහි ඇත්තෝ වව්. මේ අනල්ප වූ දුක දුරු කරව්.

10.17 උදකං හි නයන්ති නෙත්තිකා,
උසුකාරා නමයන්ති තේජනං,
දාරුං නමයන්ති තච්ඡකා,
අත්තානං දමයන්ති සුබ්බතා. 
(ජේතවන – සුඛතෙරුන් අරබයා)

වාරි කාර්මිකයෝ කුඹුරු ආදියට ජලය සපයන්නට  (තමන් කැමති තැනට) ජලය ගෙනයත්. ඊතල සාදන්නෝ තමන් කැමති සේ ඊතල සකස් කරත්. වඩුවෝ ලී නමා ගනිත්. මනා පැවතුම් ඇත්තෝ තමන් ගේ සිත් හික්මවා ගනිත්.

Devider

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: