06 පණ්ඩිත වග්ගය.

ධම්මපදය – පණ්ඩිත වග්ගය.
සත්පුරුෂයන් ගේ වටිනාකමත්, ඔවුන් ඇසුරු කිරිමේ වටිනාකම ත් පිළිබද වදාළ ගාථා දහහතරකින් යුක්ත යි. 

Image result for buddhist monks
6.01 නිධීනංව පවත්තාරං
යං පස්සේ වජ්ජ දස්සිනං
නිග්ගය්හවාදිං මෙධාවිං,
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස
සෙය්‍යා හෝති න පාපියෝ.
(ජේතවනාරාමය – රාධ තෙරුන් අරබයා )

නිදන් ඇති තැනක් කියන්නෙකු මෙන්
යමෙක් අන්‍යයකු ගේ ඇති වරද පෙන්වයි ද,
ඒ වරද ට නිග්‍රහ කොට කථා කරයි ද,
එවැනි බුද්ධිමත් පණ්ඩිතයෙකු
සේවනය කරන්නහුට යහපතක් ම සිදු වේ.
අයහපතක් සිදු නො වේ.

6.02 ඕවදෙය්‍යනුසාසෙය්‍ය
අසබ්හා ච නිවාරයේ,
සතං හි සෝ පියෝ හෝති,
අසතං හෝති අප්පියො.
(ජේතවනාරාමය – අස්සජි පුනබ්බසුකයන් අරබයා )

යමෙක් අනුන්ට (මේ දේ නොකළ යුතු ය යි) අවවාද කෙරේද,
(මේ දේ කළ යුතු යයි) අනුශාසනා කෙරේ ද,
අසභ්‍ය වූ පව්කම්වලින් වළක්වයි ද,
ඒ පුද්ගලයා සත්පුරුෂයින් ට ප්‍රිය වේ,
අසත්පුරුෂයින් ට අප්‍රිය වේ.

6.03 න භජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්‍යාණේ
භජේථ පුරිසුත්තමේ.
(ජේතවනාරාමය – ඡන්න තෙරුන් අරබයා )

පවිටු මිතුරන් සේවනය නො කරන්න,
පහත් අදහස් ඇති මිනිසුන් සේවනය නො කරන්න.
යහපත් ගුණ ධර්ම ඇති මිත්‍රයන් සේවනය කරන්න,
උසස් අදහස් ඇති මිනිසුන් ආශ්‍රය කරන්න.

6.04 ධම්මපීති සුඛං සේති
විප්පසන්නේන චේතසා
අරියප්පවේදිතේ ධම්මේ
සදා රමති පණ්ඩිතෝ. 
(ජේතවනාරාමය – මහා කප්පින තෙරුන් අරබයා )

දහම් රසය වළඳන තැනැත්තා
(කෙලෙස් කිලූටු නැති බැවින්)
ඉතා පැහැදුණු සිතින් සැප සේ නිදයි.
හෙවත් වාසය කරයි.
නුවණැති පුද්ගලයා හැම කල් හී
බුද්ධාදී ආර්යයන් දෙසු ධර්මයෙ හි ඇලේ.

6.05 උදකං හි නයන්ති නෙත්තිකා,
උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා
අත්තානං දමයන්ති පණ්ඩිතා.
(ජේතවනාරාමය – පණ්ඩිත තෙරුන් අරබයා )

කුඹුරු ආදියට ජලය ගෙනියන තැනැත්තෝ
තමන් කැමති තැනකට (අගල් කපා ) දිය ගෙනයත්,
ඊ සාදන්නෝ තමන් කැමති සේ ඊතල සකස් කරත්.
වඩුවෝ තමන් කැමති පරිදි ලී නමත්,
නුවණැත්තෝ තුමූ ම තමන් හික්මවා ගනිත්,
හෙවත් තමන්ගේ සිත දමනය කරත්.


6.06 සේලෝ යථා ඒකඝනෝ
වාතේන න සමීරති,
එවං නින‍්දාපසංසාසු
න සමිඣ්ඣන්ති පණ්ඩිතා.
(ජේතවනාරාමය – ලකුණ්ටක භද්දිය තෙරුන් අරබයා )

යම් සේ සිදුරු නැති ගල් පර්වතයක්
සුළඟින්  කම්පා නො වේ ද,
එ මෙන් පණ්ඩිතයෝ නින්දා,
ප්‍රශංසා දෙක් හි කම්පා නො වෙත්.

6.07 යථාපි රහදෝ ගම්භීරෝ
විප්පසන්නෝ අනාවිලෝ
ඒවං ධම්මානි සුත‍්වාන
විප්පසීදන්ති පණ්ඩිතා. 
(ජේතවනාරාමය – කාණ මාතා අරබයා )

ගැඹුරු වූ, පැහැදුණු දිය ඇති,
නො කැළඹුණු විලක් මෙන්
පණ්ඩිතයෝ ධර්මය අසා
විශේෂයෙන් පහදිත්.
(ඔවුන් ගේ සිත් කෙලෙස්
කැළඹීම්වලින් තොර වෙත්.)


6.08 සබ්බත‍්ථ වේ සප්පුරිසා චජන්ති
න කාමකාමා ලපයන්ති සන්තෝ
සුඛේන ඵුට්ඨා අථවා දුඛේන
නොච්චාවචං පණ්ඩිතා දස්සයන්ති.
(ජේතවනාරාමය – හිඟන්නන්ට දොස් කී භික්ෂුව අරබයා )

සත්පුරුෂයෝ හැම දෙයෙහි ඇල්ම අත්හරිත්.
ඒ ඒ දේ ලබා ගැනීමේ ආශාවෙන් කථා නො කරත්,
නුවණැත්තෝ සැපයෙන් හෝ දුකින් යුක්තවූවාහු
උස් පහත් බවක් නො දක්වත්.

6.09 න අත්තහේතු, න පරස්ස හේතු,
න පුත්තමිච්ඡේ, න ධනං, න රට්ඨං,
න ඉච්ඡෙය්‍ය අධම්මේන සමිද්ධිමත්තනෝ,
ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා.
(ජේතවනාරාමය – ධම්මික තෙරුන් අරබයා )

යමෙක් තමා නිසා හෝ අනුන් නිසා හෝ
පව්කම් නො කරන්නේ නම්,
වැරදි මගින් පුතකු හෝ ධනය හෝ රටක් හෝ නො කැමති වන්නේ නම්, අධර්මයෙන් තමා ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු නො වන්නේ නම් හෙතෙම සිල්වතෙක්, බුද්ධිමතෙක්, ධාර්මිකයෙක් වන්නේ ය

6.10 අප්පකා තේ මනුස්සේසු
යේ ජනා පාරගාමිනෝ
අථායං ඉතරා පජා
තීරමේවා නුධාවතී.
(ජේතවනාරාමය – ධම්ම ශ්‍රාවකයෙක් අරබයා )

(සසර සයුරේ) පරතෙරට යන්නෝ
මිනිසුන් අතරෙහි දුර්ලභ වෙති (ස්වල්ප දෙනෙකි),
අන්‍ය වූ වැඩි දෙනා මෙතෙර අනුව ම දුවත්.

6.11 යේ ච ඛෝ සම්මදක‍්ඛාතේ
ධම්මේ ධම්මානුවත්තිනෝ,
තේ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්‍යං සුදුත්තරං. 
(ජේතවනාරාමය – ධම්ම ශ්‍රාවකයෙක් අරබයා )

යම් කෙනෙක් මනා සේ දෙසූ ධර්මයෙහි හැසිරේද,
ධර්මය ට අනුව පිළිපදිත් ද,
ඒ පුද්ගලයෝ එතෙර වීම අපහසු වූ
මාරයාට අයත් පෙදෙස ඉකුත් කොට පරතෙරට යත්.

6.12 කණ්හං ධම්මං විප්පහාය
සුක්කං භාවේථ පණ්ඩිතෝ
ඕකා අනෝකං ආගම්ම
විවේකේ යත‍්ථ දූරමං

6.13 තත්‍රා භිරතිමිච්ඡෙය්‍ය
හිත‍්වා කාමේ අකිඤ්චනෝ
පරියෝදපෙය්‍ය අත්තානං
චිත්තක්ලේසේහි පණ්ඩිතෝ
(ජේතවනාරාමය – 500ක් වහන්දෑ අරබයා )

නුවණැත්තා අකුසල් දුරු කොට කුසල් වඩන්නේ ය. ගිහි ගෙයින් නික්ම අනගාරික බව ට පත් වූ පුද්ගලයා විසින් යම් විවේකයෙක් හි (කෙලෙසුන් ගෙන් මිදීමෙ හි) සිත ඇලවීම අපහසු ද, එ හි සිත ඇලවිය යුතු යි. නුවණැත්තා වස්තුකාම ක්ලේශකාමයන් දුරු කොට, තමා අයත් කිසි දෙයක් නැත්තෙක් ව, සිත කිලිටි කරන ධර්මවලින් තමා ගේ සිත සම්පූර්ණයෙන් පිරිසිදු කරයි.

6.14 යේසං සම්බෝධිඅංගේසු
සම්මා චිත්තං සුභාවිතං,
ආදානපටිනිස්සග්ගේ
අනුපාදාය යේ රතා,
ඛීණාසවා ජුතීමන්තෝ
තේ ලෝකේ පරිනිබ්බුතා.
(ජේතවනාරාමය – 500ක් වහන්දෑ අරබයා )

යම් කෙනෙකු ගේ සිත චතුස්සත්‍යාවබෝධයට උපකාර වූ ධර්මයන් කෙරෙහි මනා සේ වඩන ලද්දේ ද, යම් කෙනෙක් (මම ය මාගේ ය යි සිතා) ගත් දෙය අත් හැරීමෙහි, කාමුපාදානාදිය දුරු කොට, නොඇලූනාහුද, ක්ෂය වූ ආශ්‍රව ඇති ආනුභාව සම්පන්න වූ ඒ උතුමෝ ලෝකයෙ හි පිරිනිවියාහු හෙවත් කෙලෙස් ගිනි නිවාගත්තෝ වෙත්.

Devider

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: