08 සහස්ස වග්ගය.

December 24, 2010

Image result for 1000

ධම්මපදය – 08 සහස්ස වග්ගය.
හරවත් දෙය සහ නිස්සාරවත් දෙය පිළිබඳ සංසන්දනාත්මක ලෙස විග්‍රහ කෙරෙන ගාථා දහසයකින් සමන්විත යි.

8.01 සහස්සම්පි චේ වාචා
අනත්ථපදසංහිතා,
ඒකං අත‍්ථපදං සෙය්‍යෝ
යං සුත‍්වා උපසම්මති.
(වේළුවනාරාමය – තම්බදාඨිය ඇරබ)

අනර්ථය සලසන අර්ථ රහිත පදවලින් යුත් දහසක් වචනයන්ට වඩා
යම් වචනයක් අසා (කෙලෙසුන් ගේ) සංසිදීමට පත් වේ නම්,
ඒ එක් අර්ථ සහිත පදය ශ්‍රේෂ්ඨ යි.

8.02. සහස්සම්පි චේ ගාථා
අනත‍්ථපද සංහිතා,
ඒකං ගාථාපදං සෙය්‍යෝ
යං සුත‍්වා උපසම්මති.
(ජේතවනාරාමය – දාරුචිරිය තෙරුන් ඇරබ)

වැඩදායක නො වූ පද ඇති ගාථා දහසකට වඩා යම් ගාථා පදයක් අසා පුද්ගලයා සංසිදීම ට පත් වේ නම් ඒ එක් ගාථා පදයම ශ්‍රේෂ්ඨ යි.

8.03 යෝ ච ගාථාසතං භාසේ
අනත‍්ථපදසංහිතා,
ඒකං ධම්මපදං සෙය්‍යෝ
යං සුත‍්වා උපසම්මති. 
(ජේතවනාරාමය – කුණ්ඩලකේසි තෙරණිය ඇරබ)

යමෙක් (වර්ණනාදි) නිරර්ථක පදයන් ගෙන් යුත් ගාථා දහසක් කියන්නේ ද, (ඒ ගාථා දහසට වඩා) යම් ධර්මපදයක් අසා පුද්ගලයා කෙලෙස් සංසිදීමට පැමිණේ නම් ඒ එක් ධර්මපදය උතුම් ය.

8.04 යෝ සහස්සං සහස්සේන
සංගාමෙ මානුසේ ජිනේ,
ඒකං ච ජෙය්‍ය අත්තානං
ස වේ සංගාමජුත්තමෝ. 
(ජේතවනාරාමය – කුණ්ඩලකේසි තෙරණිය ඇරබ)

යමෙක් යුද්ධයක දී දශලක්ෂයක් මිනිසුන් ජය ගන්නවාට වඩා,
තමා ගේ සන්තානය  ජයගනී ද,
ඒ පුද්ගලයා ජයගන්නා මිනිසුන් අතරෙ හි ශ්‍රේෂ්ඨ යි.

8.05 අත්තා හවේ ජිතං සෙය්‍යෝ
යාචායං ඉතරා පජා
අත්තදනතස්ස පොසස්ස
නිච්චං සඤ්ඤතචාරිනෝ. 
(ජේතවනාරාමය – බමුණකු ඇරබ)

තම සිත රාගාදී කෙලෙස්වලින් දිනන ලද්දේ ද,
එයම ඒකාන්තයෙන් උතුම් වේ.
දූ කෙලීම ආදියෙහි හෝ යුද්ධයෙහි දී දිනීම
එතරම් උසස් නො වේ.

8.06 නේව දේවෝ න ගන‍්ධබ්බෝ
න මාරො සහ බ්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා
තථා රූපස්ස ජන්තුනෝ. 
(ජේතවනාරාමය – බමුණකු ඇරබ)

සිත දමනය කළා වූ පුද්ගලයා ගේ කෙලෙස් දිනීම,
නැවත පැරදීමක් කරන්නට ශක්‍රාදී දෙවියෙකුට වත්,
ගාන්ධර්වයෙකුටවත්, වසවර්ති මාරයාටවත්,
නොපිලිවන.

8.07 මාසේ මාසේ සහස්සේන
යෝ යජේථ සතං සමං,
ඒකං ච භාවිතත්තානං
මුහුත්තම්පි පූජයේ,
සා යේව පූජනා සෙය්‍යෝ
යං චේ වස්සසතං හුතං. 
(වේළුවනාරාමය – සැරියුත් තෙරුන් ගේ මාමා ඇරබ)

යමෙක් මාස්පතා කහවනු දහය බැගින් වියදම් කරමින් අවුරුදු සියයක් යාග කරන්නේද, යමෙක් වැඩූ සිත් ඇති ආර්ය පුද්ගලයෙකු ට මොහොතක් පමණ කල් පූජා පවත්වන්නේ ද, ඒ දෙකෙන් අවුරුදු සියයක් මුළුල්ලේ කළ යාගයට වඩා ඒ මොහොතක් කළ පූජාව ශ්‍රේෂ්ඨ යි.

8.08 යෝ චේ වස්ස සතං ජන්තු
අග්ගිං පරිචරේ වනේ,
ඒකං ච භාවිතත්තානං
මුහුත්තම්පි පූජයේ,
සා යේව පූජනා සෙය්‍යෝ
යං චේ වස්සසතං හුතං.
(වේළුවනාරාමය – සැරියුත් තෙරුන් ගේ බෑණකු ඇරබ)

යම් මිනිසෙක් අවුරුදු සියයක් මුළුල්ලේ වනයෙහි නැවතී ගිනි දෙවියා පුදයි ද, යමෙක් මොහොතක් පමණ කල් වැඩූ ආත්ම ඇති ආර්ය පුද්ගලයෙකුට පූජා කෙරේ ද, ඒ දෙක අතුරෙන් අවුරුදු සියයක් කළ ගිනි පූජාවට වඩා එක් මොහොතක් ආර්ය පුද්ගලයෙකුට කළ පූජාව ම උසස් ය.

8.09 යං කිංචි යිට්ඨං ව හුතං ව ලෝකේ
සංවච්ඡරං යජේථ පුඤ්ඤපේඛෝ,
සබ්බම්පි තං න චතුභාගමේති
අහිවාදනා උජ්ජුගතේසු සෙය්‍යෝ.
(වේළුවනාරාමය – සැරියුත් තෙරුන් ගේ යහලූ බමණුකු ඇරබ)

පින් බලාපොරොත්තු වන්නා වූ යමෙකු මේ ලෝකයෙ හි ඇති තාක් යාගයන් හෝ ගිනි පූජා නැමැති හෝමයන් අවුරුද්දක් මුළුල්ලේ කළ ත් ඒ සියල්ල ආර්ය පුද්ගලයෙකුට කරන වැඳීමෙන් සතරෙන් කොටසකුත් වටින්නේ නො වේ. ආර්ය පුද්ගල නමස්කාරය යාගයන් ට වඩා ශ්‍රේෂ්ඨ යි.

8.10 අභිවාදනසීලිස්ස
නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති,
ආයු වණ්ණෝ සුඛං බලං.
(දීඝලම්බක -දීඝායු කුමරුන් ඇරබ)

නිතර සිල්වතුන්ට වඳීන පුරුද්ද ඇති, ගුණයෙන් වැඩිහිටියන් ට ගෞරව කරන ස්වභාව ඇති පුද්ගලයා ගේ ආයුෂය, වර්ණය, සැපය, ශරීර බලය යන සතර වැඩේ.

8.11 යෝ චේ වස්සසතං ජිවේ
දුස්සීලො අසමාහිතෝ,
ඒකාහං ජිවිතං සෙය්‍යෝ
සීලවන්තස්ස ඣායිනෝ.
(ජේතවනාරාමය – සංකිච්ච තෙරුන් ඇරබ)

සිල් නැතිව (පව් කරමින්) නො සන්සුන් සිතක් ඇති ව අවුරුදු සියයක් ජීවත් වීමට වඩා සිල්වත් ව ධ්‍යාන වඩන්නාහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.

8.12 යෝ චෙ වස්සසතං ජීවේ
දුප්පඤ්ඤෝ අසමාහිතෝ,
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පඤ්ඤවන්තස්ස ඣායිනෝ.
(ජේතවනාරාමය – බාණු කොණ්ඩඤ්ඤ තෙරුන් ඇරබ)

යමෙක් නුවණ නැතිව නො සන්සුන් ව අවුරුදු සියයක් ජීවත් වේ නම්, ඒ ජීවත් වීමට වඩා නුවණැති ධ්‍යාන වඩන්නා ගේ එක් දිනක් ජීවත් වීම උතුම් ය.

8.13 යෝ චේ වස්සසතං ජීවේ
කුසීතෝ හීනවීරියෝ,
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
වීරියමාරභතෝ දළ්හං.
(ජේතවනාරාමය – සප්පදාස තෙරුන් ඇරබ)

(ගිහි වූ හෝ පැවිදි වූ) යම් කිසිවෙක් තමා විසින් කළ යුතු දෙයෙහි කම්මැලිව උත්සාහ නැතිව අවුරුදු සියයක් ජීවත් වේද, ඒ ජීවිතයට වඩා දැඩිසේ (කෙලෙස් තැවීමට) වීර්ය වඩන්නාහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.

8.14 යෝ චේ වස්සසතං ජීවේ
අපස්සං උදයව්‍යයං,
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පස්සතෝ උදයව්‍යයං.
(ජේතවනාරාමය – පටාචාරා තෙරණිය ඇරබ)

යමෙක් ස්කන්ධ පසේ හටගැන්මත් (මොහොතක් පාසා) විනාශවී යාමත් නො දැක (නො දැන) අවුරුදු සියයක් ජීවත් වේ නම්, ඒ ජීවිතයට වඩා රූපාදී ස්කන්ධයන්ගේ හට ගැනීමත් විනාශයත් දක්නහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.

8.15 යෝ චේ වස්සසතං ජීවේ
අපස්සං අමතං පදං,
ඒකාහං ජිවිතං සෙය්‍යෝ
පස්සතෝ අමතං පදං.
(ජේතවනාරාමය – කිසාගෝතමිය ඇරබ)

යමෙක් නිවණ නොදැක අවුරුදු සියයක් ජීවත් වේද, ඒ ජීවිතයට වඩා නිවණ දක්නහුගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.


8.16 යෝ චේ වස්සසතං ජීවේ
අපස්සං ධම්මමුත්තමං,
ඒකාහං ජිවිතං සෙය්‍යෝ
පස්සතෝ ධම්මමුත්තමං.
(ජේතවනය – බහුපුත්ත තෙරණිය ඇරබ)

යමෙක් නව ලොව්තුරා ධර්මය නො දැක අවුරුදු සියයක් ජීවත් වේ ද, ඒ ජීවිතයට වඩා නව ලෝකෝත්තර ධර්මය දක්නහු ගේ එක් දිනක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ යි.

Devider

Advertisements

09-පාප වග්ගය

December 23, 2010

ධම්මපදය – 09-පාප වග්ගය.
පාප කර්ම සහ එහි ආදීනවයන් පිළිබඳවත්, පවින් වැළකී සිටීමේ ආනිශංස පිළිබඳ වත්, දේශනා කර වදාළ ගාථා දහතුනකින් සමන්විතයි.
Image result for bad deeds


09-1. අභිත‍්ථරෙථ කල්‍යාණෙ
පාපා චිත්තං නිවාරයෙ
දන‍්ධං හි කරොතො පුඤ්ඤං
පාපස්මිං රමති මනො. 
(ජේතවනාරාමය – චුලේකසාටක බමුණා අරබයා)

පින් කිරීමෙහි ප්‍රමාද නොවන්න. පවිටු සිතුවිලිවලින් සිත වළකා ගන්න. පින් කිරීමෙ හි පසුබට වන්නහු ගේ සිත පවෙහි ඇලේ.

9.02. පාපං චෙ පුරිසො කයිරා
න තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන‍්දං කයිරාථ
දුකෙඛා පාපස්ස උච්චයො.
(ජේතවනාරාමය – සෙය්‍යක තෙරුන් අරබයා)

මිනිසෙක් (අතපසු වීමකින්) පවක් කළේ නම් එය නැවත නැවත නො කල යුතුය. එහි ආශාවක් පිහිටුවා නොගත යුතු යි. (කුමක් නිසා ද?) පව් රැස් කිරීම දුකට හේතුවන බැවිනි.

9.03 පුඤ්ඤං චෙ පුරිසො කයිරා
කයිරාථෙතං පුනප්පුනං
තම්හි ඡන‍්දං කයිරාථ
සුඛො පුඤ්ඤස්ස උච්චයො.
(ජේතවනාරාමය – ලාජා දෙව්දුව අරබයා)

පින් කරන්නා එය නැවත නැවත කලයුතුය. පින්කරන්නට ආශා කල යුතුය. (කුමක් හෙයින් ද?) පින් රැස් කිරීම සැප ලැබීම ට හේතුවයි.

9.04 පාපොපි පස්සති භද්‍රං
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ පාපො පාපානි පස්සති.
(ජේතවනාරාමය – අනේපිඩු සිටු අරබයා)

පව් කරන්නා පව් කරන තුරු එහි විපාකය නොලැබෙන තුරු සිය ක්‍රියාවෙහි යහපත දකී, (පව යහපත් දෙයක් සේ දකී)  පව විපාක දෙන්නට වූ කල ඒ පවිටා සිය පවෙහි අයහපත දකී, (එය නපුරු දෙයක් බව දකී)

9.05 භද්‍රො පි පස්සති පාපං
යාව භද්‍රං න පච්චති
යදා ච පච්චති භද්‍රං
අථ භද්‍රො භද්‍රානි පස්සති.
(ජේතවනාරාමය – අනේ පිඩු සිටු  අරබයා)

කුසල් කරන මිනිසා  කුශලය විපාක දෙන්නට පෙරද සිය යහ ක්‍රියාවෙහි යහපත දකී,  කුශලයේ ආනිසංස ලැබෙන විටද හේ පිනෙහි යහපත දකී.

9.06 මාප්ප මඤේඤථ පාපස්ස
“න මං තං ආගමිස්සති,”
උදබින‍්දු නිපාතෙන
උදකුම්භොපි පූරති,
පුරති බාලො පාපස්ස
ථොකථොකම්පි ආචිණං. 
(ජේතවනාරාමය – පිරිකර තැන්පත් නො කළ මහණකු අරබයා)

“එය මා කරා නො එන්නේ ය” යි සිතා පව සුලූකොට නො සිතුව මැනවි. දිය බින්දුව බින්දුව වැටීමෙන් කළය පිරෙයි. එ මෙන් අඥානයා ද ටික ටික වුව ත් පව් රැස් කරන්නේ නම් පවෙන් පිරේ.

9.07 මාප්පමඤේඤෙථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති,
උදබින‍්දු නිපාතෙන
උදකුම්භොපි පූරති
පූරති ධීරො පුඤ්ඤස්ස
ථොකථොකම්පි ආචිණං.
(ජේතවනාරාමය – බිළාල පාදක සිටු අරබයා)

“ඒ සුළු පිනේ විපාකය මා කරා නො එන්නේ ය” යි සිතා පින සුළුකොට නොතැකිය යුතු ය. දිය බින්දුව බින්දුව වැටීමෙන් කළය පිරෙයි, එ මෙන් නුවණැත්තා ටික ටික පින් රැස් කරමින් පිනෙන් පිරේ.

9.08 වාණිජෝව භයං මග්ගං
අප්පස්සත්ථො මහද්ධනො,
විසං ජිවිතුකාමොව
පාපානි පරිවජ්ජයෙ. 
(ජේතවනාරාමය – මහ ධන වෙළෙන්දා අරබයා)

ගැල් කිහිපයක් ඇති මද පිරියක් ඇති, ධනවත් වෙළෙන්දා සොර සතුරන් මං පහරන්නන් ගැවසෙන මාර්ගයන් හි යාමෙන් වැළකේ. ජීවත්වන්නට කැමැති අය විෂ  (නොකා) දුරු කරන්නේය. එසේම නුවනැත්තා පව් දුරු කරන්නේ ය.

9.09 පාණම්හි චෙ වණො නාස්ස
හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විසමන්චෙ තී,
නත‍්ථී පාපං අකුබ්බතො. 
(ජේතවනාරාමය – කුක්කුටමින්න වැද්දා අරබයා)

ඉදින් අත්ලේ තුවාලයක් නැති නම් අතින් විෂ ඇල්ලිය හැක. තුවාලයක් නැති විට විෂ ශරීරගත නොවේ, එමෙන් පව් නො කරන්නහුට පවක නපුරු ආදීනවයක් නොලැබෙන්නේය. 

9.10 යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස අනංගණස්ස,
තමෙව බාලං පච්චෙති පාපං
සුඛුමො රජො පටිවෙතං ච ඛිත්තො. 
(ජේතවනාරාමය – කොක් වැද්දා අරබයා)

යමෙක් අනුන් ට විපතක් නො කළ, පිරිසිඳු සිතැති (කෙලෙස්) දොස් නැති පුද්ගලයකු ට විපතක් කෙරේ ද, ඒ ක්‍රියාවේ විපාකය ඒ අඥානයා කරා ම හැරී එයි, (කුමක් මෙන් ද?) උඩු සුළඟ ට දැමු සියුම් දූලි දැමූ මිනිසා වෙත ම හැරී එන්නාක් මෙනි.

9.11 ගබ්පමෙකෙ උප්පජ්ජන්ති,
නිරයං පාපකම්මිනො,
සග්ගං සුගතිනො යන්ති
පරිනිබ්බන්ති අනාසවා.
(ජේතවනාරාමය – මණිකාරකුලූපග තිස්ස තෙරුන් අරබයා)

ඇතැම් කෙනෙක් මවු කුසෙහි උපදිත්, පව් කළො නරකයෙ හි උපදිත්, පින් කලෝ ස්වර්ගය ට යත්, ආශ්‍රව නැත්තෝ (රහත්හූ) පිරිනිවෙත්, (කිසි තැනක නූපදිත්)

9.12. න අන්තලික්ඛෙ, න සමුද්දමජ්ඣෙ,
න පබ්බතානං විවරං පවිස්ස,
න විජ්ජති සො ජගතිප්පදෙසො
යත‍්ථට්ඨිතො මුඤේචෙය්‍ය පාපකම්මා. 
(ජේතවනාරාමය – භික්‍ෂුන් තුන් නමක් අරබයා )

අකුශලයා ගේ විපාකයෙන් මිදිය හැකි  තැනක් ලෝකයෙ හි නැත. අහසෙ හි සිටියත් මූද මැද සිටියත්, පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් අකුශලයා ගේ විපාකයෙන් නිදහස් වෙන්ට නො හැකි ය.

9.13 න අන්තලික්ඛෙ, න සමුද්දමජ්ඣෙ,
න පබ්බතානං විවරං පවිස්ස,
න විජ්ජතී සො ජගතිප්පදෙසො
යත‍්ථට්ඨිතං නප්පසහෙථ මච්චු. 
(නිග්‍රොධාරාමය – සුප්පබුද්ධ ශාක්‍යයන් අරබයා)

මාරයා මැඩලිය හැකි තැනක් ලෝකයෙ හි නැත. අහසෙහි සිටියත්, මූද මැද සිටියත්, පර්වතයක කුහරයකට වැදී සිටියත් මාරයාගෙන් නො මිදේ.

Devider


10 දණ්ඩ වග්ගය.

December 22, 2010

ධම්මපදය – 10  දණ්ඩ වග්ගය.
පෘථග්ජන පුද්ගලයා නිරයේ උපත ලබා දඩුවම් ලබන අයුරුත්, භික්ෂුව නිවනින් සැනසෙන අයුරුත් දැක්වෙන ගාථා දාහතකින් යුක්ත යි.


10.01 සඛ්බේ තසන්ති දණ්ඩස්ස
සඛ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත‍්වා
න හනෙය්‍ය, න ඝාතයේ. 
(ජේතවනාරාමය – ජබ්බග්ගිය භික්‍ෂුන් අරබයා)

සියල්ලෝ දඩුවමට තැති ගනිත්. සියලූ දෙන මරණයට භය වෙත්. තමා උපමා කොට සිතා අනුන්ට හිංසා නො කරන්න. අනුන් නො නසන්න

10.02 සඛ්බේ තසන්ති දණ්ඩස්ස
සඛ්බේසං ජීවිතං පියං
අත්තානං උපමං කත‍්වා
න හනෙය්‍ය, න ඝාතයේ. 
(ජේතවනාරාමය – ජබ්බග්ගිය භික්‍ෂුන් අරබයා)

සියල්ලෝ පෙලීම ට හෝ දඩුවමට තැති ගනිත්, ජීවිතය සියල්ලන් ට ප්‍රිය වේ. තමා දඩුවම ට බිය බව ත් ජීවිතය තමා ට ප්‍රිය බව ත් සලකා අනුන්ට හිංසා නො කරන්න.  අනුන් නො නසන්න. 

10.03 සුඛ කාමානි භූතානි
යෝ දණ්ඩේන විහිංසති
අත්තනෝ සුඛමේසානෝ,
පෙච්ච සෝ න ලභතේ සුඛං. 
(ජේතවන – කුමරුවන් රැසක් අරබයා)

යමෙක් තමා සැප ලබන බලාපොරොත්තුවෙන් තමා මෙන්ම සැප කැමති (හිංසා පීඩා නො කැමති) අනෙකුත් සත්වයන් ට හිංසා පීඩා කෙරේ ද, හෙතෙම පරලොවදී සැප නො ලබයි.

10.04 සුඛකාමානි භූතානි
යෝ දණ්ඩේන න හිංසති
අත්තනො සුඛමේසානෝ,
පෙච්ච සෝ ලභතේ සුඛං.
(ජේතවන – කුමරුවන් රැසක් අරබයා)

යමෙක් තමා සැප ලබන අදහසින් සැප කැමති අන්‍ය සත්ත්වයන් නොපෙලයිද හිංසා නො කෙරේ ද, හෙතෙම පරලොවදී සැප ලබයි.

10.05 මාවෝච ඵරුසං කංචි,
වුත්තා පටිවදෙය්‍යු තං
දුක්ඛා හි සාරමහකථා,
පටිදණ්ඩා ඵුසෙය්‍යු තං.
(ජේතවන – කුණ්ඩධාන තෙරුන් අරබයා)

කිසිවෙකුට නපුරු වචන නො කිය යුතු. එසේ කියු විට ඔවුන්  ඔබට ද පරුෂ වචන කියන්නාහු ය. මෙසේ එකටෙක කියා ගැනීම දුකකි. ඔබ අනුන්ට පහර දුනහොත් ඔබට ද පහර වදිනවා ඇත.

10.06 සචේ නෙරේසි අත්තානං
කංසෝ උපහතෝ යථා
ඒස පත්තෝසි නිබ්බාණං
සාරම්භෝ තේ න විජ්ජති. 
(ජේතවන – කුණ්ඩධාන තෙරුන් අරබයා)

බිඳී ගිය ලෝහ තැටියකට ලී කැබැල්ලකින් ගැසූ විට හඩ නො නගීන්නා සේ තමා නිශ්ශබ්ද කර ගත හැකි නම් ඔබ නිවීමට පැමිණියෙකි. එ විට එකටෙක කියාගැන්මක් ඔබ ට ඇති නො වන්නේ ය.

10.07 යථා දණ්ඩේන ගෝපාලෝ
ගාවෝ පාජේති ගෝචරං,
ඒවං ජරා ච මච්චූ ච
ආයුං පාජෙන්ති පාණිනං. 
(පූර්වාරාම – පොහොය කර්මයකදී)

යම් සේ ගොපල්ලා කෙවිටෙන් ගවයන් තන බිමට දක්කයි ද, එ මෙන් ජරාවත් මරණය ත් මිනිසුන්ගේ ආයුෂය ගමන් කරවයි. (මිනිසුන් මාරයා කරා දක්කයි.)

10.08 අථ පාපානි කම්මානි
කරං බාලෝ න බුජ්ඣති
සේහි කම්මේහි දුම්මේධෝ
අග්ගිදඩ්ඪෝව තප්පති.
(වෙළුවන – අජගර ප්‍රේතයා අරබයා)

පව්කම් කරන්නා වූ අඥානයා (එයින් ලැබෙන කටුක විපාකය) තේරුම් නොගනී. ඒ පවිටු සිතැත්තා ස්වකීය ක්‍රියාවන් නිසා ගින්නෙන් දැවෙන්නෙකු මෙන් තැවේ.

10.09 යො දණ්ඩේන අදණ්ඩේසු
අප්පදුට්ඨේසු දුස්සති
දසන්නමඤ්ඤතරං ඨානං
ඛිපපමේව නිගච්ඡති. 
(වෙළුවන – අජගර ප්‍රේතයා අරබයා)

යමෙක් අනුන් ට හිංසා නො කරන්නා වූ අනුන්ට විපත් නො පමණුවන්නා වූ පුද්ගලයන්ට විපත් පමුණුවයි ද හෙතෙම (මත්තෙහි කියනු ලබන) කරුණු දශයෙන් එකකට වහාම පැමිණෙයි.

10.10 වේදනං ඵරුසං ජානිං,
සරීරස්ස ච භේදනං,
ගරුකං වාපි ආබාධං,
චිත්තක්ඛේපං ච පාපුණේ. 
(වෙළුවන – අජගර ප්‍රේතයා අරබයා)

හෙතෙම දරුණු වේදනාවකට හෝ ධන හානියකට හෝ අත් පා කැඩීම් බිදීම් ආදියකට හෝ බලවත් රෝගයකට හෝ උමතු බවට හෝ පැමිණේ.

10.11 රාජතෝ වා උපස්සග්ගං,
අබ්භක්ඛානං ව දාරුණං,
පරික්ඛයං ව ඤාතීනං,
භෝගානං ව පභඞගුරං. 
(වෙළුවන – අජගර ප්‍රේතයා අරබයා)

හෙතෙම රජුන්ගෙන් පැමිණෙන උපද්‍රවයකට හෝ දරුණු අසත්‍ය චෝදනාවකට හෝ භාජනය වෙයි. නෑයන් ගේ විනාශයකට හෝ සම්පත් වැනසී යාමකට පැමිණෙයි.

10.12 අථ වස්ස අගාරානි
අග්ගි ඩහති පාවකෝ
කායස්ස භෙදා දුප්පඤ්ඤෝ
නිරයං සෝ පපජ්ජති. 
(වෙළුවන – මහමුගලන් තෙරුන් අරබයා)

නැතහොත් ඔහුගේ ගෙවල් ඉබේම ගිනි බත් වෙති මරණින් මතු ඒ අඥානයා නරකයෙහි උපදී.

10.13 න නග්ගචරියා, න ජටා, න පංකා,
නා’නාසකා, ථණ්ඩිලසායිකා වා
රජෝ ච ජල්ලං, උක්කුටිකප්පධානං
සොධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං.
(ජේතවන – බහුභණ්ඩික භිඬවකු අරබයා)

වස්ත්‍ර නොහැඳ නිරුවතින් විසීම වත්, ගෙතුනු හිසකෙස් දැරීමවත්, ඇඟේ මඩ තවරා ගැනීමවත්, නොකා හිඳීමවත්, ආවරණයක් නැති පොළොවේ නිදීමවත්, ඇඟේ කුණුගොඩ ගැසී පතුරු හැලෙනතෙක් නොනා හිඳීමවත් නොනැගටි නොනිදා උක්කුටියෙන් හිඳීමවත් (මාර්ගයෙහි සැක ඇති)  පුද්ගලයා පිරිසිඳු නො කෙරෙත්.

10.14 අලංකතෝ චේපි සමං චරෙය්‍ය
සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහමචාරී
සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං
සො බ්‍රහමණෝ, සෝ සමනෝ, සභිකඛු. 
(ජේතවන – සන්තති මහ ඇමති අරබයා)

සර්වාභරණවලින් සැරසී සිටියත්  (පව් නොකරන) සම සේ හැසිරේ ද, කෙලෙසුන් නැති බැවින් ශාන්ත ද, ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත ද, නියත වූ උප්පත්ති ඇත්තේ ද, බ්‍රහ්මචාරී වේද, සියලූ සතුන් ට හිංසා කිරීමෙන් තොර වූවේද, හෙතෙම බ්‍රාහ්මණයෙකි, ශ්‍රමණයෙකි, භික්ෂුවකි.

10.15 හිරිනිසේධෝ පුරිසෝ
කෝචි ලොකසමිං විජ්ජති
යො නින‍්දං අප්පබෝධති
අස්සෝ භද්‍රෝ කසාමිව. 
(ජේතවන – පිලොතික තෙරුන් අරබයා)

යහපත් අජානේය අශ්වයෙක් කස පහර ලැබීමට ලැජ්ජා වන්නාක් මෙන් ලැජ්ජාව නිසා පවින් දුරු වෙන්නා වූ කිසියම් පුද්ගලයෙක් ලෝකයෙහි කලාතුරකින් විද්‍යාමාන වේ. 

10.16 අස්සෝ යථා භද්‍රෝ කසානිවිට්ඨෝ
ආතාපිනෝ සංවේගිනෝ භවාථ
සද්ධාය සීලේන ච විරියේන ච
සමාධිනා ධම්මවිනිච්ඡයේන ච
සම්පන්නවිජ්ජාචරණා පතිස්සතා
පහස්සථ දුක්ඛමිදං අනප්පකං.
(ජේතවන – පිලොතික තෙරුන් අරබයා)

කස පහර ලැබූ යහපත් අශ්වයා නැවත කස පහර නො ලැබීම සඳහා උත්සාහවත් වෙන්නා සේ තොපි ද කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත ව සසරෙහි කලකිරීම් ඇත්තෝ වව්.
ශ්‍රද්ධාවෙන් ද ශීලයෙන් ද වීර්යයෙන් ද සමාධි වැඩීමෙන්  ධර්මයෙන් පිරිසිඳු ව දැන ගැන්මෙන් ද ත්‍රිවිද්‍යාවන් හා පසළොස්චරණ ධර්මයෙන් ලැබුවාහු, හැම විට ම එළඹ සිටි සිහි ඇත්තෝ වව්. මේ අනල්ප වූ දුක දුරු කරව්.

10.17 උදකං හි නයන්ති නෙත්තිකා,
උසුකාරා නමයන්ති තේජනං,
දාරුං නමයන්ති තච්ඡකා,
අත්තානං දමයන්ති සුබ්බතා. 
(ජේතවන – සුඛතෙරුන් අරබයා)

වාරි කාර්මිකයෝ කුඹුරු ආදියට ජලය සපයන්නට  (තමන් කැමති තැනට) ජලය ගෙනයත්. ඊතල සාදන්නෝ තමන් කැමති සේ ඊතල සකස් කරත්. වඩුවෝ ලී නමා ගනිත්. මනා පැවතුම් ඇත්තෝ තමන් ගේ සිත් හික්මවා ගනිත්.

Devider


11- ජරා වග්ගය

December 21, 2010

ධම්මපදය – 11 ජරා වග්ගය
ආර්ය ශ්‍රාවකයා ජාති, ජරා, මරණ රහිත නිර්වාණය කරා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් ගන්නා අකාරය පිළිබද වදාළ
ගාථා එකොළහකින් යුක්ත යි.

11.01 කො නු හාසො කිමානන්දො
නිච්චං පජ්ජලිතෙ සති?
අන‍්ධකාරෙන ඔනද්ධා
පදීපං න ගවෙස්සථ?
(ජේතවන – විශාඛාවගේ යෙහෙළියන් අරබයා )

මේ ශරීරය (රාග, ද්වේශ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, බලවත් සිත් තැවිල්ල යන) ගිනි එකොළොසකින් නිතර දැවෙන කල් හී කවර සිනාවක් ද? කවර ප්‍රීතියක් ද? මෝහන්ධකාරයෙන් වැසී ගිය තෙපි එය දුරු කර ගැනීමට නුවණ නැමැති පහනක් නො සොයව් ද?

11.02 පස්ස චිත්තකතං බිම්බං
ආරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං,
යස්ස නත‍්ථී ධුවං ඨිති.
(වෙළුවන – සිරිමා ගණිකාව අරබයා )

යම් ශරීරයක්හු ගේ ස්ථීර පැවැත්මක් නැද්ද, සිතියම් කරන ලද රූපයක් වැනි වූ, ඇට කටුවලින් ඔසවා තබන ලද වණ සමූහයක් වැනි වූ, රෝගියෙකු වැනි වූ, නොයෙක් බාහිර විසිතුරෙන් සරසන ලද්දාවූ මේ  සිරුර දෙස බලව්.

11.03 පරිජිණ්ණමිදං රූපං
රොගනිඩ්ඪං පභංගුරං
භිජ්ජති පූතිසන්දෙහො
මරණන්තං හි ජීවිතං. 
(ජේතවන – උත්තරී තෙරණිය අරබයා )

දිරන ස්වාභාවය ඇති මේ ශරීරය රෝගයන්ට ආකරයකි, වහා බිදී යන ස්වභාව ඇත්තකි. මේ කුණු (වැගිරෙන) ශරීරය බිදී යයි. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය.

11.04 යානි මානි අපත‍්ථානි
අලාපූනෙව සාරදෙ
කාපොතකානි අට්ඨිනි,
තානි දිස්වාන කා රති?
(ජේතවන – අධිමානික භික්ෂුන් අරබයා )

සරත් කාලයෙ හි හටගත් (අළු පැහැති) ලබු කටු මෙන් තැනින් තැන දමා තිඛෙන අළු පැහැති ඇට දැකීමෙන් කෙසේ නම්ඇලීමක් ඇතිවේද

11.05 අට්ඨිනං නගරං කතං
මංසලොහිතලෙපනං
යත‍්ථ ජරා ච මච්චු ච
මානො මක්ඛො ච ඔහිතො.
(ජේතවන – රූපනන්ඳා තෙරණිය ඇරබ)

ඇට (කණු මෙන් සිටුවා) මස් ලේ ආලේප කිරීමෙන් (හෙවත් මස් ලේ නමැති මැටි ගැසීමෙන්) කළ නගරයක් වේ. එහි ජරාව ද මරණය ද මානය ද අනුන් ගුණ මැකීම ද වාසය කරත්. (ඒවා එහි බහා තබන ලදහ.)

11.06 ජීරන්ති වෙ රාජරථා සුචිත්තා
අතො සරීරම්පි ජරං උපෙති
සතං ච ධම්මො න ජරං උපෙති
සන්තො හවෙ සබ්භී පවෙදයන්ති
(ජේතවන – මල්ලිකා දේවිය අරබයා )

මනාසේ විසිතුරු කැටයමින් සැරසූ රජුන් ගේ රථයෝ ද ඒකාන්තයෙන් දිරීමට පත්වෙත්. එසේම ශරීරය ද දිරීමට පත් වේ. සත්පුරුෂයන් ගේ ධර්මය දිරීමට පත් නො වෙයි. බුද්ධාදී උත්තමයෝ මේ කාරණය නියත වශයෙන් ප්‍රකාශ කරත්.

11.07 අප්පස්සුතායං පුරිසො
බලිවද්දොව ජීවති
මංසානි තස්ස වඩ්ඪන්ති,
පඤ්ඤා තස්ස න වඩ්ඪති.
(වෙළුවන – ලාලූදායි තෙරුන් අරබයා )

නූගත් මිනිසා ගොනෙකු මෙන් (කා බී) ජීවත්වෙයි.
ඔහු ගේ මස් වැඩේ, නුවණ  නො වැඩේ.

11.08 අනෙක ජාති සංසාරං
සන‍්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො
දුක්ඛා ජාති පුනප්පුනං.
(බොමැඩ – උදාන ගාථා)

නැවත නැවත ඉපදීම දුකකි. මම ශරීර නමැති ගෙය සාදන්නා සොයමින් ඔහු සොයා ගත නො හැකි ව නොයෙක් ඉපදීම් ඇති සංසාරයෙහි ඇවිද්දෙමි. (කුමක් හෙයින් ද?) .

11.09 ගහකාරක, දිට්ඨෝසි
පුනගෙහං න කහාසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා
ගහකුටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං
තණහානං ඛය මජඣගා.
(බොමැඩ – උදාන ගාථා)

ශරීර නැමැති ගෙය සාදන වඩුව, මම  නුඹව දිටිමි. නුඹට  නැවත ගෙවල් සාදන්ට ලැඛෙන්නේ නැත. නුඹගේ (කෙලෙස් නමැති) ඉල ඇට සියල්ල බිදින ලදී. ගෙයි කැණීමඩල (මුදුන) විසිරුවා දමන ලදි. සංස්කාරයන්ගෙන් නිදහස් වූ මාගේ සිත තෘෂ්ණාක්ෂය නමැති නිවන ට පැමිණියේ ය. (මේ ගාථා දෙක බුද්ධත්වය ලැබූ විගස ප්‍රීති වාක්‍ය වශයෙන් ප්‍රකාශ කරන ලදී)

11.10 අචරිත‍්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනෙ ධනං
ජිණ්ණකොක‍දචා ව ඣායන්ති
ඛීණමච්ඡෙව පල්ලලෙ.
(ඉසිපතන – මහධන සිටුපුත් අරබයා)

තරුණ කාලයේ දී බ්‍රහ්මචර්යාවෙ හි නො යෙදී, (ගිහියන් විසින් ලැබිය යුතු) ධනය ත් නො ලැබ හෙවත් රැස් කර නො ගෙන, මසුන් නැති දිය සිදුණු විලක තැවෙන්නා වූ මහලූ කොස්වා ලිහිණි මෙන් තැවෙත්.

11.11 අචරිත‍්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනෙ ධනං
සෙන්ති චාපාතිඛිත්තාව
පුරාණානි අනුත‍්ථුනං.
(ඉසිපතන – මහධන සිටුපුත් අරබයා )

ශක්තිමත් කාලයේ දී බඹසර නො හැසිර හෙවත් සිල් නො රැක, (ගිහියෙකු වශයෙන් රැස් කළ යුතු) ධනය රැස් නො කොට, ඒ ඒ තැනට විදින ලදත් ඒ ඒ තැන කැලේ වැටී තිඛෙන ඊතල මෙන් (තමන්) පෙර විදි සම්පත් සිහි කොට තැවෙමින් වැටී සිටිත්. (ඊතල දුන්නෙන් විදිනු ලබන අවස්ථාවන් හී සතුන් මැරීමාදියට සමර්ථ වුවත් කැලේ වැටුණු පසු වේයන් විසින් කා දමනු ලැබේ. නැතහොත් මලකඩ කා දිරා යත්. මේ අඥාන පුද්ගලයෝ ඒ ඊතලවලට සමාන වෙති.)

Devider


12- අත්ත වග්ගය

December 20, 2010

ධම්මපදය – 12  අත්ත වග්ගය.
තම සිත සුරක්ෂිත කරගැනිම අයිති තමා ට ම බව පෙන්වා දෙමින් ඒ පිළිබද වදාළ ගාථා දහය කින් යුක්ත යි.

12.01 අත්තානං චේ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං
පටිජග්ගේය පණ්ඩිතෝ.
(භේසකලාවන – බෝධිරාජ ඇරබ)

තමාට තමා ප්‍රිය ය යි දන්නේ නම් නුවනැත්තා ඒ තමා (හෝ ආත්මය) මනා සේ රැක ගත යුතු යි, (බාල-තරුණ-මහලූ යන) තුන් වයසින් අඩුතරමින් එක් වයසක දී වත් එය ප්‍රතිසංස්කරණය කරන්නේ ය. (හෙවත් අකුශවලින් දුරු ව සිල් රැකීමාදියෙ හි යෙදිය යුතු ය. රෑ යාම තුනෙන් එක් යාමයක දී වත් නිදි දුරු කොට භාවනාදියෙහි යෙදිය යුතු ය යන අර්ථය ද දිය හැකි යි.)

12.02 අත්තනාමේව පඨමං
පතිරූපේ නිවේසයේ
අථඤ්ඤමනුසාසෙය්‍ය,
න කිලිසෙය්‍ය පණ්ඩිතෝ. 
(ජේතවන – උපනන්ද තෙරුන් ඇරබ)

නුවණැත්තා පළමු කොට තමා ම සුදුසු ගුණධර්මයන් හී පිහිටා ඉක්බිති අන්‍යයන් ට අනුශාසනා කරන්නේ ය. අනුන්ට අවවාද කරන්නට පෙර තමා ගුණකම් හී නො පිහිටීමෙන් පණ්ඩිතයා කිලූටු නො විය යුතු ය.

12.03 අතතානං චේ තථා කයිරා
යථඤ්ඤමනුසාසති,
සුදන්තෝ වත දම්මේථ
අත්තාහි කිර දුද්දමෝ.
(ජේතවන – පධානික තිස්ස තෙරුන්)

යම් සේ පිළිපදින්නැයි අනුනට උපදෙස් දෙන්නේ නම් තමා පළමුව එම උපදේශයේම තමාත් පිහිටිය යුතුය; තමා දමනය වී අනුන්ට තිදොර හික්මවන්න ට අනුසාසනා කල යුතුය. තමා දමනය කිරීම අපහසු ය. දුකසේ කල යුත්තකි.

12.04 අත්තා හි අත්තනෝ නාථෝ,
කොහි නාථෝ පරෝ සියා?
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං.
(ජේතවන – කුමාර කස්සප තෙරුන්)

තමාට පිහිට වන්නේ තමා ම ය. අන් කවරෙක් තමාට පිහිට වන්නේද?  මනා සේ හික්මවා ගත් තමා කරණකොට ලබන්නට දුර්ලභ වූ පිහිට (හෙවත් නිවණ) ලබයි.

12.05 අත්තනාව කතං පාපං
අත්තජං අත්තසම්භවං
අභිමන‍්ථති දුම්මේධං
වජිරං ව සම්මයං මණිං.
(ජේතවන – මහාකාල ඇරබ)

තමා විසින්ම කරන ලද, තමා කෙරෙහි හට ගත්, තමාගෙන් ම උපන් පාපය අඥානයා මැඩලයි. කුමක් මෙන් ද ගලෙන් උපන් දියමන්තිය ඒ ගල ම විනාශ කරන්නාක් මෙනි.

12.06 යස්ස අච්චන්ත දුස්සීල්‍යං
මාලූවා සාලමිවොත්තං
කරෝති සෝ තථ’ත්තානං
යථා නං ඉච්ඡති දිසෝ.
(වෙළුවන – දෙවිදත් ඇරබ)

සල් ගසේ පැතිර සිටින මාලූවා වැලක් එම සල් ගස විනාශ කරන්න සේ පුද්ගලයා හාත්පසින් වැළදගෙන සිටින යමෙකුගේ බලවත් දුශ්ශීලභාවය , සතුරෙකු සතුරෙකු ට විපත් පමුණුවන්නාසේ තමා ට ම විපත් පමුණුවයි. 

12.07 සුකරානි අසාධූනි
අත්තනෝ අහිතානි ච
යං වේ හිතං ච සාධූං ච
තං වේ පරමදුක්කරං.
(වෙළුවන – සංඝභේදයක් ඇරබ)

තමා ට අවැඩ පිණිස පවත්නා දේද , නපුරු ක්‍රියා ද  කිරීම ඉතා පහසුය. යමක් තමනට වැඩ පිණිස පවතී ද යහපත් ද ඒ ක්‍රියාව කිරීම අතිශයින් අපහසු ය.

12.08 යෝ සාසනං අරහතං
අරියානං ධම්මජීවිනං
පටික්කෝසති දුම්මේධෝ
දිට්ඨිං නිස්සාය පාපිකං
ඵලානි කට්ඨකස්සේව
අත්තඝඤ්ඤාය ඵල්ලති.
(ජේතවන – කාල තෙරුන් ඇරබ)

යම් පවිටු අදහස් ඇත්තෙක්, වැරදි අවබෝධයක් නිසා, ධාර්මික වූ ආර්යය භාවයට පැමිණි රහතන් වහන්සේ ගේ අනුශාසනාව නො සලකා හරී ද, ප්‍රතික්ෂේප කරයි ද, ඔහු ට ලැබෙන ලාභ සත්කාරාදිය ඔහු ගේ ම විනාශය පිණිස පවතී. කුමක් මෙන් ද? උණ ගසේ ගෙඩි හට ගැන්ම ඒ ගසේ විනාශය පිණිස පවත්නාක් මෙනි.

12.09 අත්තනාව කතං පාපං,
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤමඤ්ඤෝ විසෝධයේ.
(ජේතවන – චූලකාල තෙරුන් ඇරබ)

තමා විසින් ම කරන ලද පව නිසා තමාම කිලිටි වේ. තමා විසින් පවක් නො කරන ලද නම් තෙමේ  පිරිසිදු වෙයි. ශුද්ධි අශුද්ධි දෙක තම තමන්කෙරෙහි ම ය. අනිකෙක් අනිකෙකු පිරිසිදු නො කරයි.

12.10 අත්ත දත‍්ථං පරෙත‍්ථන
බහුනාපි න හාපයේ
අත්ත දත‍්ථ මභිඤ්ඤාය
සදත‍්ථපසුතෝ සියා.
(ජේතවන – අත්තදත්ථ තෙරුන් ඇරබ)

බොහෝ සේ අනුන් සදහා වැඩ කිරීමට ගොස් තමා ගේ යහපතට හානි කරගත යුතු නො වේ. තමා ගේ යහපතට හේතු වන සිල් පිරීම් භාවනා කිරීම් ආදිය මනා සේ දැනගෙන ඒ ස්වකීය නිදහස ලැබීමෙහි නිරත විය යුතු ය.

Devider


13- ලෝක වග්ගය

December 19, 2010

ධම්මපදය – 13 ලෝක වග්ගය.
ලෝකය පිළිබද වදාළ ගාථා දොළසකින් යුක්ත යි.

13.01 හීනං ධම්මං න සේවෙය්‍ය
පමාදෙන න සංවසේ
මිචඡාදිටඨිං න සේවෙය්‍ය
න සියා ලෝකවද්ධනො.
(ජේතවන – භික්ෂුවක ඇරබ)

ළාමක වූ කාම සම්පත් සේවනය නො කළ යුතුය, කුශල ධර්මයෙහි ප්‍රමාදයෙන් යුක්ත ව නො විසිය යුතුය, වැරදි ඇදහීම නොගත යුතු ය. ලෝකය වඩන්නෙකු, සසර දික්කරගන්නෙකු නොවිය යුතු. (සංසාරයෙ හි නැවත නැවත ඉපදීම ලෝකය වැඩීම ය යි කියනු ලැබේ)

13.02 උත්තිට්ඨේ, නප්පමජ්ජෙය්‍ය,
ධම්මං සුචරිතං චරේ,
ධම්මචාරී සුඛං සේති
අස්මිං ලෝකේ පරම්හි ච.
(නිග්‍රොධාරාම – සුදොවුන් රජු ඇරබ)

නිතර උත්සාහවන්තව විසිය යුතුය, කුශල ධර්මයෙහි ප්‍රමාද නොවිය යුතුය, ධර්මය පිළිපදින පුද්ගලයා මෙලොව දී ත් පරලොවදී ත් සුවසේ වසයි.

13.03 ධම්මං චරේ සුචරිතං
න තං දුචේචරිතං චරේ
ධම්මචාරි සුඛං සේති
අස්මිං ලෝකේ පරම්හි ච.
(නිග්‍රොධාරාම – සුදොවුන් රජු ඇරබ)

සුචරිත ධර්මයෙහි හැසිරිය යුතු යි. දුශ්චරිතයෙ හි නො යෙදිය යුතු යි. ධර්මයෙ හි හැසිරෙන්නා මෙලොව පරලොව දෙකේ දි ම සුවසේ වසයි.

13.04 යථා බුබ්බුලකං පස්සේ,
යථා පස්සේ මරීචිකං,
ඒවං ලෝකං අවෙක‍්ඛන්තං
මච්චුරාජා න පස්සති.
(ජේතවන – භික්ෂුන් 500ක් ඇරබ)

මේ ලෝකය දිය බුබුලක් සේ වහා බිදී යන්නකැයි ද, මිරිගුවක් සේ අසත්‍ය ස්වභාවයෙන් යුක්ත වූවකැයි ද, දකින පුද්ගලයා මාරයාට නො පෙනේ.


13.05 ඒථ, පස්සථී මං ලෝකං
චිත්තං රාජරථූපමං,
යත‍්ථ බාලා විසීදන්ති,
නත‍්ථී සංගෝ විජානතං.
(වෙළුවන – අභය රාජ කුමාර ඇරබ)

මෙහි එවූ. විසිතුරු කරන ලද රාජ රථයක් වැනි වූ මේ ලෝකය බලව්. අඥානයෝ යම් ලෙසකින් මේ ලෝකයෙහි නිෂ්ඵල වූ දෙහි ඇලී ගැලී  ඒ තුල ගිලා බසිත් ද, නුවණැත්තන් ට මේ ලෝකයෙහි එවන් අසාර ඇල්මක් නොවන්නේය. 

13.06 යෝ ච පුබ්බේ පමජ්ජිත‍්වා
පච්ඡා සෝ නප්පමජ්ජති,
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝව චන‍්දිමා.
(ජේතවන – සම්මුංජනි තෙරුන් ඇරබ)

යමෙක් මුල දී ප්‍රමාදයෙන් යුක්ත ව සිටියද  පසු ව නමුත් අප්‍රමාදයෙන් යුක්ත වේ නම් හෙතෙම වළාකුලින් මිදුණු චන්ද්‍රයා මෙන් මේ ලෝකය බබුළුවයි.

13. 07 යස්ස පාපං කතං කම්මං
කුසලේන පිථීයති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝව චන‍්දිමා.
(ජේතවන – අඟුල්මල් තෙරුන් ඇරබ)

යමෙකු කළ සුළු පව පසු ව කළ මහත් කුශල කර්මයකින් වසා දමනු ලැබේ නම් හෙතෙම වලාකුළින් මිදුණු සද මෙන් මේ ලෝකය බබුළුවයි.
(අංගුලිමාල තෙරුන් මහණ වෙන්ට පෙර සිය ගණන් මිනිසුන් මැරූ නමුත් ඒ පව් කම් සියල්ල රහත් මගින් වනසා දමන ලදී. එය එක ම ආත්මයකදී සිදු වූවකි.)

13.08 අන‍්ධභූතෝ අයං ලෝකෝ,
තනුකෙත‍්ථ විපස්සති
සකුන්තෝ ජාලමුත්තෝව
අප්පෝ සග්ගාය ගච්ඡති.
(අග්ගලාව – පෙසකාර දුව ඇරබ)

මේ ලෝවැසි සත්ව සමූහයා  (නුවණැස් නැති බැවින්) අන්ධ ය, ස්වල්ප දෙනෙක් පමණක් ලෝකයේ අනිත්‍ය, දුක්ඛාදි වශයෙන් නුවණින් දකිත්. එ බැවින් දැලකට අසු වූ පක්ෂීන් ගෙන් ඉතා ටික දෙනෙකුන් ඉන් ගැලවි යන්නා සේ ලෝවැසි ස්වල්ප දෙනෙක් ම පමණක් සුගතියට යති.

13.09 හංසා දිච්චපථේ යන්ති,
ආකාසේ යන්ති ඉද්ධියා
නීයන්ති ධීරා ලෝකම්හා
ජෙත‍්වා මාරං ස්වාහිනිං,
(ජේතවන – භික්ෂූ තිස්නමක් ඇරබ)

හංසයෝ හෙවත් පක්ෂීහූ අහසින් යති. ඍද්ධිමත්හූ ඒ ඍද්ධි බලයෙන් අහසෙන් ගමන් කරත්. මාර්ග ඵල ලැබූ ප්‍රාඥයෝ සේනා සහිත මරු පරදවා ලෝකයෙන් ඉවත්ව යත්.

13. 10 ඒකං ධම්මං අතීතස්ස
මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණපරලෝකස්ස
නත‍්ථී පාපං අකාරියං.
(ජේතවන – චිංචා ඇරබ)

සත්‍යය වසන් කොට බොරු කියන්නා වූ, පරලොව ගැන විශ්වාසයක්,  බලාපොරොත්තු නැති මිනිසාට නොකළ හැකි පවක් නැත.

13.11 න වේ කදරියා දේවලෝකං වජන්ති
බාලා හවෙ නප්පසංසන්ති දානං
ධීරෝ ව දානං අනුමෝදමානෝ
තේනේව සෝ හෝති සුඛී පරත‍්ථ.
(ජේතවන – අසදිස දානය ඇරබ)

තද මසුරෝ කිසි කලෙකත් දෙව්ලොව නූපදිත්. අඥානයෝ දන් දීමට ප්‍රසංසා නො කරත්. නුවණැත්තා දානය අනුමත කරමින් එයට සතුටු වෙමින් එයින් ම පරලොව දී සුවපත් වෙයි.

13.12 පථව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්තිඵලං වරං.
(ජේතවන – අනේපිඩු පුතු ඇරබ)

මුළු පොළොවේ අධිපති වූ සක්විති රජ වීමටත් වඩා, දෙව්ලොව ඉපදීමටත් වඩා, මුළු ලොව ට අධිපති මහා බ්‍රහ්මභාවයටත් වඩා, සෝවාන් ඵලය ලැබීම උතුම් වේ.

Devider


14- බුද්ධ වග්ගය

December 18, 2010

ධම්මපදය – 14 බුද්ධ වග්ගය
ලොව්තුරු සම්‍යක් සම්බුද්ධයන් වහන්සේලා පිළිබද වදාළ ගාථා දහඅටකින් යුක්තයි.


14.01 යස්ස ජිතං නාවජියති,
ජිතමස්ස නෝ යාති කෝචි ලෝකේ
තං බුද්ධමන්නතගෝචරං
අපදං කේන පදේන නේස්සථ? 
(බෝමැඩ – මාරදුවරුන් ඇරබ)

යමෙකු දිනාගත් දෙය නැවත පරාජයට පත් කළ නො හැකි ද, යමකු විසින් පරදවන ලද දෙය නැවත කිසි කලෙක ඔහු ලූහුබැද නො ඒවි ද, සියලූ දේ දත්, කෙලෙසුන් හී පිහිටීමක් නැති ඒ බුදුරජු කවර ආකාරයකින් මාරයා වෙත ගෙන යව් ද?

14.02 යස්ස ජාලිනී විසත්තිකා
තණ්හා නත‍්ථී කුහිංචි නේතවේ,
තං බුද්ධමන්නතගෝචරං
අපදං කේන පදේන නේස්සථ?
(බෝමැඩ – මාරදුවරුන් ඇරබ)

යමෙකු යම්කිසිතැනකට ගෙනයාම සදහා උපකාරක දැලක් වැනි බැවින් ජාලිනී නම් වු අතිශයින් ම ඇලෙන බැවින් විසත්තිකා නම් වූ තෘෂ්ණාව යමෙකුට නැත්නම්, සියලූ දෙය පිරිසිද දත්, කෙලෙස් පිහිටීම නැති ඒ බුදුරද කවරාකාරයකින් මාරයා වෙත ගෙන යව් ද?

14.03 යේ ඣානපසුතා ධීරා
නෙක‍්ඛම්මුපසමේ රතා,
දේවාපි තේසං පිහයන්ති
සම්බුද්ධානං සතීමතං.
(සංකස්ස – යමක ප්‍රාතිහාරිය ඇරබ)

යම් නුවණැති පුද්ගල කෙනෙක් ධ්‍යාන වැඩීමෙහි යෙදුනාහු ද කෙලෙසුන් සංසිදීයාම ට හේතු වූ නිවණෙහි ඇලූණාහු ද, මනා සේ ධර්මාවබෝධය කළ ඒ උතුමන් ට දෙවියෝත් ප්‍රිය කෙරෙත්.

14.04 කිච්ඡෝ මනුස්සපටිලාභෝ
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවණං
කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ.
(බරණැස – එරකපත්ත නා රජු ඇරබ)

මනුෂ්‍යාත්මභාවයක් ලැබීම අපහසු ය. මිනිසුන් ගේ ජීවත් වීමත් අපහසු ය. සත්‍ය ධර්මයක් අසන්නට ලැඛෙන්නේ කලාතුරකිනි. බුදුවරයන්ගේ ඉපදීම අතිශයින් ම දුර්ලභ යි.

14.05 සබ්බපාපස්ස අකරණං,
කුසලස්ස උපසම්පදා,
සචිත්තපරියෝදපනං,
ඒතං බුද්ධානසාසනං,
(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

සියලූ පව් නො කර හැරීම ය, සියලූ කුසල් රැස් කිරීම ය, තමා ගේ සිත (කෙලෙසුන්ගෙන්) පිරිසිදු කර ගැනීම ය යන මේ කරුණු බුදුවරුන් ගේ අනුශාසනා යි.

14.06 ඛන්තී පරමං තපෝ තිතික‍්ඛා,
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ.
(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

අනුන් කළ නුරුස්සනා දෙය ඉවසීම ය යි කියන ලද ක්ෂාන්තිය උතුම් තපසකි. බුදුවරු නිවන උසස් යැයි කියත්. අනුන්ට හිංසා පීඩා කරන, අනුකම්පාවක් නැති පැවිද්දා ශ්‍රමණයෙක් නො වේ.

14.07 අනුපවාදෝ අනුපඝාතෝ,
පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤු තා ච භත්තස්මිං,
පන්තං ච සයනාසනං,
අධිචිත්තේ ච ආයෝගෝ
ඒතං බුද්ධාන සාසනං.
(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

අනුන්ට හෙළා තළා කතා නො කිරීම ද, අනුන් ට හිංසා නො කිරීම ද, භික්ෂුන්ට අයත් ශික්ෂා පදයන් හී හික්මීම ද (හෙවත් ඒවා පිළිපැදීම ද) ආහාරයෙ හි පමණ දැන අනුභව කිරීම ද, ගමින් දුරු වූ (විවේක ඇති) ආරාමයන් හී විසීම ද, සමාධි භාවනාවෙ හි යෙදීම ද යන මේවා  කළ යුතු යැ යි බුදුවරුන් විසින් ප්‍රකාශ කරන ලද හ.

14.08 න කහාපණවස්සේන
තිත්ති කාමේසු විජ්ජති
අප්පසසාදා දුඛා කාමා
ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. 
(ජේතවන – කලකිරුණු භික්ෂුවක් ඇරබ)

කහවනු වැස්සක් වැස්සත් කාමයන් හී තෘප්තියක් ඇති නො වේ ය යි ද, කාමයෝ  යනු ස්වල්ප ආස්වාද ඇත්තාහු ය, බොහෝ ආදීනව දුක් සහිත ය යි ද දැනගෙන කාමයන් හී ද ඇලීමකට පත් නොවිය යුතු වෙයි.

14.09 අපි දිබ්බේසු කාමේසු
රතිං සෝ නාධිගච්ඡති
තණ්හාක්ඛයරතෝ හෝති
සම්මාසම්බුද්ධ සාවකෝ. 
(ජේතවන – කලකිරුණු භික්ෂුවක් ඇරබ)

නුවනැත්තා දිව්‍යමය  කාමයන් හී ද ඇලීමක ට පත් නො වෙයි  . ඒ බුද්ධ ශ්‍රාවකයා ආශාවන් ගෙවා දැමීමෙ හි යෙදුනේ වෙයි.

14.10 බහුං වේ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම- රුකඛ-චේත්‍යානි
මනුස්සා භයතජ්ජිතා. 
(ජේතවන – කොසොල් රජුගේ පෙරෙවි බමුණා ඇරබ)

(රෝගභයාදි) බියෙන් තැති ගත් බොහෝ මිනිසුන්, පර්වතයන් ද වනයන් ද ආරාමයන් ද ගස් ද (දෙවියන් සම්බන්ධ) චෛත්‍යයන් ද සරණ කොට ගනිත්.

14.11 නේතං ඛෝ සරණං ඛේමං,
නේතං සරණ මුත්තමං
නේතං සරණමාගම්ම
සබ්බදුක්ඛා පමුච්චති. 
(ජේතවන – කොසොල් රජු ගේ පෙරෙවි බමණු ඇරබ)

මේ පර්වතාදිය සරණ යාම නිර්භය බව එළවන්නක් නො වේ. මේ සරණය උතුම් නො වේ. මේ සරණය ගෙන සියලූ දුකින් නො මිදේ.

14.12 යෝ ච බුද්ධං ච ධම්මං ච
සංඝං ච සරණං ගතෝ
චත්තාරි අරියසච්චානි
සම්මප්පඤ්ඤාය පස්සති.

14.13 දුක්ඛං, දුක්ඛසමුප්පාදං
දුක්ඛස්ස ච අතික්කමං,
අරියං ච’ට්ඨංගිකං මග්ගං
දුක්ඛු’පසමගාමිනං.
(ජේතවන – කොසොල් රජු ගේ පෙරෙවි බමණු ඇරබ)

යමෙක් බුදුන් හා උන්වහන්සේ ගේ ධර්මය ත් ශ්‍රාවක සංඝයා ත් සරණ ගියේ වේද,  දුක ය, දුකේ හටගැන්ම ය, දුක නැති කිරීම ය, දුක නැති කිරීම සදහා ගමන් කළ යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන ආර්ය සත්‍ය සතර මනා සේ නුවණින් දකී.

14.14 ඒතං ඛෝ සරණං ඛේමං,
ඒතං සරණ මුත්තමං
ඒතං සරණ මාගම්ම
සබ්බ දුක්ඛා පමුච්චති.
(ජේතවන – කොසොල් රජු ගේ පෙරෙවි බමණු ඇරබ)

මේ පිහිට සොයා යාම නිර්භය එකකි. මේ සරණය උතුමිය, මේ සරණය කරා පැමිනෙන් නෝ සියලූ දුකින් මිදේ.

14.15 දුල්ලභො පුරිසාජඤ්ඤා,
න සෝ සබ්බත‍්ථ ජායති
යත‍්ථ සෝ ජායති ධීරෝ,
තං කුලං සුඛමේධති.
(ජේතවන – අනඳ තෙරුන් ඇරබ)

පුරුෂ ශ්‍රේෂ්ඨයා (තථාගත යන් වහන්සේ ) දුර්ලභ කෙනෙකි. හෙතෙම හැම තැන නූපදී. යම් තැනක (පවුලක) ඒ වීරයා උපදින්නේ නම් ඒ කුලය සැපතට පත් වේ.

14.16 සුඛෝ බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්මදේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපෝ සුඛෝ. 
(ජේතවන – බොහෝ භික්ෂුන් ඇරබ)

බුදුවරුන් ගේ ඉපදීම සැපයට හේතුවකි. සදහම් දෙසීම සැපයට හේතුවකි. භික්ෂු සංඝයා ගේ සමගිය සැපයට හේතුවකි. සමගි වූවන් ගේ සිල් රැකීම සැපයට හේතුවකි .

14.17 පූජාරහේ පූජයතේ
බුද්ධේ යදිව සාවකේ
පපංචසමතික්කන්තේ
තිණ්ණසෝක පරිද්දවෙ.
(චාරිකාවකදි – කසුප් බුදුරදුන්ගේ සෑය ඇරබ)

සියලූ පූජාවන්ට සුදුසු වූ, තෘෂ්ණා-දෘෂ්ටිමානයන් දුරු කළ, ශෝක හා වැලපීම් ඉක්මවා ගිය බුදුවරුන් ට හෝ බුද්ධ ශ්‍රාවකයන් ට පූජා කරන්නේ ද….

14.18 තේ තාදිසේ පූජයතෝ
නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං
ඉදම්මත්තංති කේනචි.
(චාරිකාවකදි – කසුප් බුදුරදුන්ගේ සෑය ඇරබ)

කෙලෙස් ගිනි නිවා දැමූ, කිසි තැනකිනුත් බියක් නැති එවැනි ඒ උතුමන්ට පූජා කරන්නහුට ලැඛෙන පින මෙ පමණය යි ප්‍රමාණ කළ නො හැක.

Devider